පුවත්

වෙසක් පුර පසළොස්වක පොහෝදා දහම් සිතුවිල්ල

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ.

ආනන්ද විහාර මන්දිරයේදී විශේෂ මල් සහ ගිලන්පස පූජාවක්

බුදුන්වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරවන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් ආදි ආනන්දීය බෞද්ධ සංගමය, ආනන්ද විහාර මන්දිරයේදී විශේෂ මල් සහ ගිලන්පස පූජාවක් පවත්වන ලදි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන අනුශාසක පූජ්‍ය ඕනෑගම උපාලි ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුලු විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ වැඩමවීමෙන් මෙම පිංකම පැවැත්වූහ.

විද්‍යාලයාධිපති ලාල් දිසානායක මහතා, කීර්තිමත් ආදි ආනන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඇතුලු පිරිසක් මෙම පිංකමට සහභාගි වූහ.

කඩල දන්සැල

අනද වෛශාඛ මංගල්‍යයට සමගාමීව ආදි ආනන්දීය බෞද්ධ සංගමය සංවිධානය කළ (31දා) කඩල දන්සැල අවස්ථාවන්....

ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය ඕනෑගම උපාලි ස්වාමින්ද්‍රයන් වහන්සේ, කීර්තිමත් ආදි ආනන්දීය ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා, විද්‍යාලයාධිපති ලාල් දිසානායක මහතා, ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ සභාපති අනුෂ්ක මිල්ලවිටිය මහතා ඇතුලු පිරිසක් ආරම්භක අවස්ථාවට එක් වූහ.

2026/2027 ප්‍රථම විධායක කමිටු රැස්වීම

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 2026/2027 ප්‍රථම විධායක කමිටු රැස්වීම අප්‍රේල් 26 වැනි දින ගල්කිස්ස වටරප්පල පාර බෞද්ධායතනයේදී ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ප්‍රධාන සභාපති සමිත සෙනෙවිරත්න මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස මෙම අවස්ථාවට එක් විය.

විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මහාචාර්ය අතුල කළුආරච්චි, ජගත් සුමතිපාල යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

සභාපති අනුෂ්ක මිල්ලවිටිය සහ ලේකම් ඉන්දික වන්නිආරච්චි මහත්වරු විසින් සභාව මෙහෙයවන ලදි.

35 වන සංවත්සර මහා සභා රැස්වීම 2025/26

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 35 වන සංවත්සර මහා සභා රැස්වීම මාර්තු 29 වන දින ආනන්ද විද්‍යාලයීය සත්මහල් ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

ප්‍රධාන අනුශාසක පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විද්‍යාලයාධිපති ඩී. එම්. එල්. පී. දිසානායක මහතා, ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති සමිත සෙනෙවිරත්න මහතා, ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.

2026/27 වර්ෂය සදහා නව සභාපති ලෙස අවිෂ්ක මිල්ලවිටිය මහතා ද ලේකම් ලෙස ඉන්දික වන්නිආරච්චි මහතා ද භාණ්ඩාගාරික ලෙස මධුර පෙරේරා මහතා ද පත් කරගන්නා ලදි.

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන්ගේ 119 වන ගුණසමරුව

සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන්ගේ 119 වන ගුණසමරුව නිමිත්තෙන් එතුමාගේ පිළිරුවට මල් දමක් පැළදවීම, පුෂ්පෝපහාර දැක්වීම සහ පැන් වඩා පිං අනුමෝදන් කිරීම අද උදෑසන ආනන්ද විද්‍යාලයේ දී සිදුකරන ලදි. විද්‍යාලයීය ධර්මාචාර්ය ස්වාමින්ද්‍රයන් වහන්සේලා, විදුහල්පතිතුමන්, ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමන්, ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. විද්‍යාලයීය බෞද්ධ සංගමය, ආදි ආනන්දීය බෞද්ධ සංගමය, ජේෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය එක්ව මෙම අවස්ථාව සංවිධානය කරනු ලැබීය.

ඉදිරි ගමන් මග සැලසුම් කිරීම

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ඉදිරි ගමන් මග සැලසුම් කිරීම සදහා විශේෂ වැඩසටහනක් පෙබරවාරි 4වැනි දින සුමති සමූහ ව්‍යාපාර ශ්‍රවනාගාරයේදී පැවැත්වුනි. කීර්තිමත් ආදි ආනන්දීය මහාචාර්ය නලින් අබේසේකර විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලදි.

ආනන්ද විද්‍යාලයීය විහාර මන්දිරය භාහිර ප්‍රතිසංස්කරණය සහ තීන්ත ආලේප කිරීම — නිල ඇරඹුම

ආනන්ද විදුහල් මෑණියන්ගේ හදවත බඳු වූ ආනන්ද විහාර මන්දිරයේ බාහිර පෙනුම ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමේ මහා පින්කම නිල වශයෙන් ආරම්භ විය! 🌸

මෙම සත්කාර්යයේ ආරම්භය සනිටුහන් කරමින්, තෝරාගත් කොන්ත්‍රාත්කරු වෙත වැඩසටහන පැවරීමේ නිල ලිපිය භාරදීම අද දින සිදු කෙරිණි.

මේ සුවිශේෂී අවස්ථාවට,

  • 🙏 ගරුතර මහා සංඝරත්නය — ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්.
  • 👨‍⚕️ විශේෂ උපහාරය: මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය සපයනු ලබන අපගේ අභිමානවත් ආදි ආනන්දීය වෛද්‍යතුමන්.
  • 🎓 විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය.
  • 🤝 ආදි ශිෂ්‍ය සංගමයේ විදායක සභාපති තුමන්.
  • 🤝 ආදි ආනන්දීය බෞද්ධ සංගමය සහ විද්‍යාලයීය බෞද්ධ සංගමයේ නිලධාරී මහතුන්.
  • අපේ අනන්‍යතාවය වූ විහාර මන්දිරය අලුත් වන මේ මොහොත, සැමට ඉමහත් සතුටට කරුණකි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ දෙවැනි දේශනය

ගුණ - නැණ පිරුණු පරපුරක් තනමු තේමාව යටතේ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ දෙවැනි දේශනය ජුනි 20 වැනිදා කිරුලපන ශාඛා පුස්තකාල ශාලාවේදී පවත්වන ලදි.

රුවන් මුහුණපාන කායික හා මානසික ගැටලු හමුවේ වැඩිහිටියන්ගේ කාර්‍යභාරය යන මාතෘකාව පැහැදිලි කරමින් මෙම දේශනය පවත්වනු ලැබුවේ කීර්තිමත් ආදි ආනන්දීය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ මහතා විසිනි.

මෙය සංවිධානය කිරීමට ආදි ආනන්දීය බෞද්ධ සංගමය සමග කිරුලපන ඉතිරි කිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සංසදය සහ කිරුලපන ශාඛා පුස්තකාලය එක් විය.

අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වූ වෙසක් මස, උතුම් සම්බුද්ධ ත්‍රෛමංගල්‍යය "අනඳ වෛශාක්‍ය මංගල්‍යය 2025" මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

පෙරහැර, භක්ති ගීත, තොරණ, දන් සැල් සංවිධානය කර තිබිණි. ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ දායකත්වයෙන් මෙහිදී ආනන්ද විහාර මන්දිරය ආලෝකවත් කිරීම, වෙසක් පොහොය දින ගිලන්පස බුද්ධ පූජාව, සත්මහල ආලෝකවත් කිරීම ආදි කටයුතු සිදුකෙරිණි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය

ගුණ - නැණ පිරුණු පරපුරක් තනමු තේමාව යටතේ ආදි ආනන්දීය බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන කාලීන දේශන මාලාවේ ප්‍රථම දේශනය අද (මැයි 08) කිරුලපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථ දහම් පාසල් ශාලාවේදී පවත්වන ලදි.

අපේ ආකල්ප සාරධර්ම සහ දරු පරපුරේ අනාගතය යන මාතෘකාව පැහැදිලි කරමින් අද දින මෙම දේශනය පවත්වනු ලැබුවේ කීර්තිමත් ආදි ආනන්දීය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ මහතා විසිනි.

මෙම අවස්ථාවට කිරුලපන ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමව්පියන්, ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ විධායක සභිකයින් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

34 වැනි සංවත්සර මහා සභා රැස්වීම

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ 34 වැනි සංවත්සර මහා සභා රැස්වීම අප්‍රේල් 06 වැනි දින ආනන්ද විද්‍යාලයීය සියවස ශාලාවේදී පවත්වන ලදි.

ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ගරු ප්‍රධාන අනුශාසක, ගල්කිස්ස බෞද්ධා‍යතනාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහෝපාධ්‍යාය, ආචාර්ය පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම උත්සව සභාවේ මූලාසනය හෙබවූහ.